07/10/2025
ඔයාගේ පූස් බබා ඇඟේ ඉළ ඇට පෙනෙන තරම් කෙට්ටුයිද? එහෙම නැතත් එයා කෙට්ටු වෙමින් ඉන්නව වගේ ඔබට පේනවද? බළලුන් මහත් වෙන එක වගේම කෙට්ටු වෙන එකත් එතරම් හොඳ දෙයක් නෙවෙයි. මිනිසුන් වගේම තමයි. ඒ කෙට්ටු වීමට හේතුව දියවැඩියාව වගේ රෝගයක් වෙන්නත් පුළුවන්. නැතිනම් සාමාන්‍යයෙන් ඔබට මඟහරවාගත හැකි හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ ගැන අද කතා කරමු. මේ අධික කෙට්ටු බව මඟහරවාගන්නෙ කොහොමද කියලත් දැනගමු.
බළලුන්ගේ බර අඩු වෙන්නෙ ඇයි?
බළලුන් කෙට්ටු වෙන්න නොයෙක් හේතු බලපාන්න පුළුවන්. සමහර ඒවා සාමාන්‍ය දේවල් වුණත්, සමහර ඒවා යම් අසනීප තත්වයන් නිසා වෙන්නත් පුළුවන් කියල අපි කලින්ම සඳහන් කලා. ඒ නිසා, ඔබේ බළලාගේ බර අසාමාන්‍ය වශයෙන් අඩු වෙනව නම් හැකි ඉක්මනින් පශු වෛද්‍යවරයෙක් වෙත යොමුවෙන එක තමා වඩාත්ම හොඳ. ඒ කොහොම වුනත් අපි බලමු, ඒ සඳහා බලපාන පොදු සාධක කිහිපයක්.
✅ ප්‍රමාණවත් තරම් කෑම නොලැබීම: සමහර වෙලාවට කෑම ප්‍රමාණවත් නැති වුණත් බර අඩු වෙනවා. විශේෂයෙන්ම ගෙදර බළලුන් කිහිප දෙනෙක් ඉන්නවා නම්, එක බළලෙක්ට කෑම අඩුවෙන් ලැබෙන්න පුළුවන්.
✅ අකමැති ආහාර ලබාදීම: බළලුන්ට වුනත් ආහාර සම්භන්ධව ඔවුන්ගේ රුචි අරුචිකම් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබ නිතරම ඔවුන් ආහාරයට ගැනීමට අකමැති ආහාර දෙනව නම්, ඒ ආහාර ප්‍රතික්ශේප කිරීම නිසත් කෙට්ටු වෙන්න පුළුවන්.
✅ පණු රෝග: බළලුන්ගෙ බඩේ පණුවවන් ඉන්නව නම්, එයාලගෙ ආහාර දිරවීම හොඳින් සිද්ධ වෙන්නෙ නෑ. ඒ නිසා ඔවුන් කෙට්ටු වෙන්න පුළුවන්.
✅ ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ: බඩේ අමාරුව, පාචනය, වමනය වගේ දේවල් නිසාත් අපේ වගේම බළලුන්ගෙත් කෑම හරියට ජීර්ණය වෙන්නේ නැහැ. ඒකත් බර අඩු වීමට සෘජුවම බලපානවා.
✅ දත් හා විදුරුමස් ආශ්රිත ගැටළු: මුඛය ආශ්රිත ගැටළු තියෙනකොට අපිට වගේම එයාලටත් ාහාර ගන්න අපහසුයි. මේ නිසා එයාලට වැඩි ආහාර ප්‍රමාණයක් ගන්න බැරි නිසා බර අඩු වෙන්න පුළුව
✅ ආතතිය: ජීවත් වෙන පරිසරය වෙනස් වීම, අලුත් සතෙක් ගෙදරට එකතු වීම වගේ දේවල් බළල්ලුන්ට ආතතිය ඇති කරනවා. මේ ආතතියත් එක්කම කෑම අරුචිය ඇති වෙලා බර අඩු වෙන්න පුළුවන්.
✅ වෙනත් රෝග: දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ, වකුගඩු රෝග වගේ ලෙඩ නිසාත් බර අඩු වෙන්න පුළුවන්. ඒකත් මිනිසුන්ට වගේම ඔවුන්ටත් පොදු දෙයක්.
ඉතින් දැන් ඔබට පැහැදිලි ඇති, ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීම ඇතුළුව රෝගාබාද තත්ව දක්වා මේ ප්රශ්නය විහිදෙනව කියන කාරනාව. ඒ නිසා මේ සම්භන්ධව පශුවෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න එක තමා වඩාත්ම හොඳ.
ඔබේ සුරතලාගේ බර වැඩි කර ගැනීමේ සැලැස්මක් සකස් කිරීම
මහත් කිරීම කියන්නෙ ඔවුන්ට ලබාදෙන කැලරි ප්‍රමාණය ඉහළ නැංවීම වගේ සරල දෙයක් නෙවෙයි. ඒක මිනිසුන්ට වගේම බළලුන්ටත් පොදු වන කාරණාවක්. ඒක ඔවුන්ගේ වයස, ශරීර තත්වය, වර්ගය, පවතින රෝග, ආසත්මිකතා වගේම රුචි අරුචිකම් වගේ ගොඩක් දේවල් ගැන විශ්ලේෂණය කරල, ක්රමාණුකූලව කල යුතු දෙයක්.
මේ සඳහා පශු වෛද්‍ය සහය අනිවාර්යයි කියල නැවතත් මතක් කරනවා. ඔබේ පශු වෛද්‍යවරයා බළලාගේ තත්වය නිරීක්ෂනය කිරීමෙන් පසු, රෝගයක් ඇතිනම් එම රෝගයට ප්‍රතිකාර කිරීමේ සැලැස්මක් සකස් කළ පසුවයි බර වැඩි කර ගැනීමේ කාර්යය ආරම්භ කළ හැකි වන්නේ. මේ ක්‍රියාවලියේදී, ඔබේ පූස් බබාගේ වයස සහ වෛද්‍ය අවශ්‍යතා මත පදනම්ව නිශ්චිත යෝජනා ඔබ වෙත ඉදිරිපත් කිරීමයි සාමාන්‍යයෙන් වෙන්නෙ.
ඔබේ පූසාගේ නිශ්චිත වෛද්‍ය තත්ත්වයට අනුවර්තනය කරන ලද ආහාර වේලක් මෙහිදි නිර්දේශ වීමයි විශේෂත්වය වෙන්නෙ. අදාල ආහාර සැලැස්ම ඇරඹීමට පෙර පශු වෛද්‍යවරයා ඔබේ බළලාගේ සුදුසු බර හඳුනා ගන්නා අතර, සැලැස්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක වනවාදැයි බැලීම සඳහා නිතිපතා පරික්ෂා කරන්නටත් ඔබට යෝජනා කිරීම සිදු කරනවා.
බළලුන්ගේ බර වැඩි කරන ක්‍රමවේදය
බළලුන්ගේ බර වැඩි කළ හැකි සෞඛ්‍යසම්පන්න ආහාර මොනවද කියන එක දැනගන්න එක ඔබට බොහෝ වටිනවා. මොකද ඔබ ඒ ගැන දන්නෙ නැතිව ඔවුන්ගේ බර වැඩි කරන නමුත් සෞඛ්‍යට අහිතකර පිටි හෝ සීනි සහිත ආහාර වලට යොමුවෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නෙ, ඔබට ගන්න පුළුවන් හොඳ සෞඛ්‍යසම්පන්න විකල්ප කිහිපයක් සහ ඔබ අනුගමනය කල යුතු කරුණු කිහිපයක්.
✅ පූස් පැටව් ආහාර: බොහෝමයක් පූස් ආහාර (Cat Foods) වල හොඳ කැලරි සහ පෝෂක ප්‍රමාණයක් අන්තර්ගත වනවා. මොකද විශේෂයෙන්ම ඒවා සාදා ඇත්තේ බළලුන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා ගැන විශේෂ අවධානයක් යොමු කරමින් වීමයි මෙහි විශේෂත්වය. (වෙළඳපොලේ ඇති cat foods ඔබ ලබා දෙනවනම් පිළිගත් වගේම තත්ව සහතික කරන ලද ආහාරයක් ලබා දෙන්න, ඔබ වෙළඳපොලේ ඇති cat foods වලට අකමැති නම් ඔබට පුළුවන් පෝශණීය ආහාර වේලක් ඔබ විසින්ම ඔබේ ආදරණීය පූසා වෙත පිළියෙල කරන්න)
✅ සෞඛ්‍ය සම්පන්න සුළු ආහාර: ආහාර වේල් අතර කුඩා කුකුළු මස් කැබලි, බිත්තර, මාළු හෝ වෙනත් ප්‍රෝටීන් බහුල සුලු ආහාර ලබා දීමත් බර වැඩි කිරීමට උපකාරී වනවා.
✅ නිවැරදි ප්‍රමාණය: ඔබේ පූසාගේ වයස, බර සහ ක්‍රියාශීලීත්වය අනුව කැලරි ප්‍රමාණය ගණනය කර නිවැරදි ආහාර ප්‍රමාණය ලබා දෙන්න. එහෙම නැතිනම් බළලාට වෙනත් අපහසුතා ඇති වෙන්නට ඉඩක් තියෙනවා.
✅ නිතර ආහාර ලබා දීම: දිනකට කිහිප වතාවක් කුඩා ආහාර වේල් ලබා දීමෙන් බළලා ආහාර ගැනීමට දිරිමත් කරන්න ඔබට පුළුවන්. නමුත් දෙන ආහාර ප්‍රමාණය ගැන සෑම විටම සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.
✅ පාන වර්ග සහ පිසින ලද ආහාර : බොහෝ විට කිරි වැනි පාන, ඒ වගේම පිසින ලද මාළු, මස්, බිත්තර වගේ ආහාර දෙන්නට හැකිනම් එයත් ඵලදායි පියවරක්. මොකද ගොඩක් බළලුන් වියලි ආහාර වලට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.
✅ ආහාර විවිධත්වය: එකම ආහාරය එක දිගට ගැනීම අපට වගේම බළලුන්ටත් බොහොම අපහසු දෙයක්. ඉතින් සෑම විටම ආහාර වර්ග කිහිපයක් මාරුවෙන් මාරුවට ලබා දීමෙන් ආහාර විවිධත්වය තබා ගන්න. ඒ වගෙම ඔවුන් කැමති ආහාර මොනවද කියලත් අවභෝධයක් ලබාගන්න.
✅ පිරිසිදු, නැවුම් ජලය: සෑම විටම පිරිසිදු, නැවුම් ජලය ලබා දෙන්න. එය ඔවුන්ගේ ආහාර ජීරණය පහසු අරන්නට සහය වෙනවා. නමුත් කුස පිරී ආහාර ගැනීමෙ අවශ්‍යතාව අඩු විය හැකි නිසා එය ඕනෑවට වඩා කරන්න එපා.
✅ ඔවුන්ගේ ආතතිය පාලනය කරන්න: ඔබට හැකි සෑම අයුරින්ම ඔවුන්ගේ ආතතිය පාලනය කරන්නට ඔබට හැකි සෑම දේම කරන්න. බොහෝ විට මදක් ඔවුන්ව හුරතල් කිරීම හෝ එළියට රැගෙන යාම පමණක් වුවත් ප්‍රමාණවත් විය හැකියි.
නැවත මතක් කිරීම : ඔබේ බළලාගේ බර වැඩි කිරීමට පෙර පශු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඔවුන්ට ඔබේ පූසාගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කර බළලාට වඩාත් සුදුසු ආහාර සැලැස්මක් නිර්දේශ කිරීම සිදු කරනවා. ඉතින් මේ දේවල් හොඳින් අවභෝධ කරගෙන අවශ්‍ය ඉදිරි පියවට ගන්න ඔබට දැන් පුළුවන්. මේ ගැන ඔබට තියෙන අත්දැකීම් පහත කමෙන්ට් සෙක්ශන් එකේ ලියන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම වැදගත් ලිපියකින් හමුවෙමු.