29/09/2026
සැප්තැම්බරයේ දිගු දවස් අහවරව යයි.
පතාකයන්ගෙන් විචිත්‍ර වූ නැව් පෙළ, හිරු රැස්වලින් දිලෙමින් ද සංසුන්ව වරාය දෙසට පැමිණෙමින් ඇත.
එහෙත් ඒ සංසුන් බව නගරයේ කිසිම තැනක නොපෙනුණේ, කලහකාරී තත්ත්වයන් වඩාත් උත්සන්න වූ බැවිනි.
තැන් කිහිපයක ඉස්ටෝරු බිඳ, සංවිධානාත්මක කල්ලි කිහිපයක් විසින් සිදුකළ කොල්ලකෑම්වලින් ලබාගත් කිසිවක්ද නැත.
හැකි උන් ඉස්ටෝරුවල දමා තිබූ මලුද, අඩිය පෙනෙන මානයට පාත්ව ඇත. සත්‍ය ලෙසම සංචිත නොමැති බැවින්, වර්ජනද දියාරුව ගොසිනි.
ගෝල් දේශය හරහා එන ලංදේසි නැව, ඉංග්‍රීසි ඕඩයේදී මුහුණ දුන් ප්‍රමාදය මාසයකි.
භාරතයෙන් එන වර්ග කිහිපයක් තිබුණත්, ඒවාට කැමැත්ත අඩුය.
නගරයේ නීති නිලධාරීන් එහා මෙහා දිව යනු පෙනෙයි. සියල්ල සාධාරණ බවත්, නැව් කිහිපය වරායට සේන්දු වනතෙක්ම තත්ත්වයේ වෙනසක් නොවන බවත් ඔවුහු දනිති.
පාළම් තුන අසල ඇති ඉස්ටෝරුවකදීද මේ පිළිබඳව උණුසුම් සාකච්ඡාවකි. ඇතැමෙක් නැව්පතියන්ට දොස් නඟති. තවත් සමහරු මුහුදු සුළඟටත්, වරාය භාර නිලධාරීන්ටත් චෝදනා කරති.
එහෙත් කිසිවකුත් මුහුදට බැස නැව ඇදගෙන ඒමට ඉදිරිපත් නොවෙති.
ඉස්ටෝරුවල ඉතිරිව තිබූ අවසන් මලු කිහිපයද මේ වනවිට රහසිගතව බෙදාහැරෙන බවට ආරංචියකි. ඒවා ලබාගැනීම සඳහා පෝලිම්වල සිටින ඇතැම් පාරිභෝගිකයන්, තමන්ගේ පරම්පරාගත අයිතිවාසිකම් ගැනද සිහිපත් කරමින් සිටිති.
මේ අතර නගරයේ ප්‍රධාන වෙළෙඳ සංගමය හදිසි නිවේදනයක් නිකුත් කර ඇත.
"සැපයුම් මාර්ග යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටිමු."
එහෙත් එම නිවේදනය කියවූ කිසිවකුගේ කුසගින්න නිවුණේ නැත.
රෝමය දැවෙද්දී වීණාව වැයූ නීරෝ මෙන්ම, මාලනයෝද ක්ලැරන්සියානු තාලයට ගිතාරුවක් වයමින් සිටියි.
වරාය දෙසින් හමන සුළඟේ තවමත් බලාපොරොත්තුවක සුවඳක් ඇත.
ඒ අතර, ඊයේ සවස දැනගත් තොරතුරු අද පුවත්පත් කිහිපයක පළව ඇත.
**"නැව් වරාය සීමාවට පැමිණීම තවදුරටත් ප්‍රමාදයි!
සියම් දේශයෙන් පැමිණෙන නැව මුලින්ම පැමිණෙතැයි, වැග් ඇන් වෝක් පවසයි."**
පුවත කියවූ නගර වැසියෝ මොහොතකට නිහඬ වූහ.
ඉන්පසු ඔවුහු නැවතත් මුහුද දෙස බැලූහ.
මන්ද, මේ වනවිට ඔවුන්ට අවශ්‍ය වූයේ පුවත්පත් නිවේදන නොව, නැවකින් ගොඩබසින ආහාර මලු කිහිපයකි.
ඉතිහාසය විසින් මේ දින කිහිපය කෙසේ සටහන් කරනු ඇත්දැයි කිව නොහැක.
එහෙත් වරාය අසල බලා සිටි පූසන් සිව්දෙනාට නම්, තවත් සතියක් යනු ඉතා දිගු කාලයකි.